අන්තර්ජාලය, විශේෂයෙන් Telegram සහ WhatsApp වැනි පණිවිඩ හුවමාරු යෙදුම් සහ විවිධ සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධව දෛනිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ විශාල වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට අනතුරු අඟවයි. පසුගිය වකවානුව තුළ මෙරට රැඳී සිටිමින් මෙවැනි සයිබර් වංචා මෙහෙයවූ විදේශිකයන් රැසක් ද අවස්ථා ගණනාවකදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව එහි සඳහන් වේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ පුද්ගලික තොරතුරු සොරකම් කිරීම, බැංකු ගිණුම්වලට හොර රහසේ ඇතුළු වීම, සමාජ මාධ්‍ය ගිණුම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර මුදල් වංචා කිරීම් බහුලව වාර්තා වන බව පොලිසිය පවසයි.
මෙහිදී වංචාකරුවන් විසින් මහජනතාව මුළා කිරීම සඳහා මහා පරිමාණ ලොතරැයි ත්‍යාග හෝ වටිනා තෑගි පාර්සල් ලැබී ඇති බව පැවසීම, ඉතා කෙටි කලකින් ඉහළ ආදායම් ලැබිය හැකි මාර්ගගත රැකියා අවස්ථා ලබා දෙන බව කීම, ක්ෂණික ණය පහසුකම් ලබා දෙන බව පවසා රහස්‍ය දත්ත ලබා ගැනීම මෙන්ම යුරෝපීය රටවල රැකියා සහ උසස් අධ්‍යාපන අවස්ථා සලසා දෙන බව පවසා විවිධ ගිණුම්වලට මුදල් බැර කරවා ගැනීම වැනි විවිධ උපක්‍රම බහුලව භාවිත කරනු ලබයි. මෙවැනි වංචාවලට ජනතාව හසුවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ පවතින අඩු දැනුවත්භාවය, දුර්වල මුරපද භාවිතය, නොදන්නා සබැඳි විවෘත කිරීම සහ ව්‍යාජ පණිවිඩවලට කඩිනමින් රැවටීමයි.
එබැවින් අන්තර්ජාලය භාවිත කිරීමේදී තමන්ගේ ගිණුම් අංක, මුරපද හෝ QR කේත කිසිදු බාහිර පාර්ශවයකට ලබා නොදීමට වගබලා ගන්නා ලෙස පොලිසිය අවධාරණය කරයි. එමෙන්ම විදේශ රැකියා සහ අධ්‍යාපන අවස්ථාවලට යොමුවීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි රජයේ අනුමැතිය ලත් සහ ලියාපදිංචි ආයතන හරහා පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.














