ඉදිරි වසර 15ක කාලය තුළ යුරෝපා සංගමයට (EU) අයත් රටවලට ආරක්ෂක ක්ෂේත්‍රය, බලශක්තිය සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් අතිදැවැන්ත පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. සයිප්‍රස්හි නිකොසියා (Nicosia) නුවර පැවැති යුරෝපා සංගමයේ මුදල් අමාත්‍යවරුන්ගේ නිල නොවන විශේෂ හමුවකදී පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ, වත්මන් ආර්ථික ප්‍රතිපත්ති ඒ අයුරින්ම පැවතුනහොත් 2040 වසර වන විට සාමාන්‍ය යුරෝපීය රටක රාජ්‍ය ණය ප්‍රමාණය දදේනි (GDP) ප්‍රතිශතයක් ලෙස සියයට 130 ක් දක්වා, එනම් වර්තමාන මට්ටම මෙන් දෙගුණයකින් ඉහළ යනු ඇති බවයි.
මෙම අනතුරුදායක තත්ත්වයෙන් මිදීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් 27 තුළ ශ්‍රමිකයන්ට සහ සමාගම්වලට වඩාත් නම්‍යශීලී ලෙස කටයුතු කිරීමට ඉඩ සැලසීම, බලශක්ති වෙළෙඳපොළ ඒකාබද්ධ කිරීම සහ රටින් රටට වෙනස් වන නීති පද්ධතීන් ඒකාබද්ධ කරමින් පුරවැසි ඉතිරිකිරීම් ලාභදායී ආයෝජන වෙත යොමු කිරීම පහසු කළ යුතු බව IMF නිර්දේශ කරයි. එසේම විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ, විශ්‍රාම යන වයස් සීමාව ඉහළ දැමීම මෙන්ම හරිත හා දේශගුණික ව්‍යාපෘති සඳහා පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීමට රජයේ ඇපකර ලබාදීම වැනි පියවර ද මීට ඇතුළත් විය යුතුය. වඩාත්ම වැදගත් පියවරක් ලෙස නවෝත්පාදන, බලශක්ති සහ ආරක්ෂක අවශ්‍යතා සමස්ත යුරෝපයටම පොදු අවශ්‍යතා ලෙස සලකා, ඒවා සඳහා වන පිරිවැය සපුරා ගැනීමට ‘පොදු ණය ලබාගැනීමේ’ (Joint Borrowing) ක්‍රමවේදයක් වෙත රටවල් එකඟ විය යුතු බව ද එහි සඳහන් වේ.














