රථවාහන වරදක් සිදුකර ඇති බැවින් ඒ සඳහා වන දඩ මුදල් අන්තර්ජාලය ඔස්සේ වහාම ගෙවන ලෙස දන්වමින්, රථවාහන පොලීසියේ නමින් සංසරණය වන ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ වෙනත් පණිවුඩ කෙරෙහි නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ භාර නියෝජ්‍ය පොලිස්පති සේනාධීර (DIG Senadheera) මහතා පෙන්වා දෙන්නේ, දින කිහිපයක් ඇතුළත දඩ මුදල් නොගෙවුවහොත් දඩය වැඩි වන බවටත්, නීතිමය පියවර ගන්නා බවටත් බිය ගන්වමින් මෙවැනි ව්‍යාජ පණිවුඩ යවන බවයි. පණිවුඩය සමඟ ඇති ව්‍යාජ වෙබ් අඩවි සබැඳි (Links) වෙත පිවිසෙන මහජනතාවගේ බැංකු කාඩ්පත් විස්තර සහ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් සොරා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වී ඇත. රථවාහන දඩ ගෙවීම සඳහා පොලීසිය මගින් කිසිදු වෙබ් අඩවියකට පිවිසෙන ලෙස කෙටි පණිවුඩ යොමු නොකරන බවත්, දැනට පවතින එකම නිල මාර්ගගත (Online) ගෙවීම් ක්‍රමය වන්නේ ‘GovPay’ පද්ධතිය පමණක් බවත් පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි.














