ගෝලීය තෙල් ප්‍රවාහන පිරිවැය වාර්තාගත ලෙස ඉහළට
මැදපෙරදිග කලාපයේ උත්සන්න වූ යුධමය තත්ත්වය සහ හෝමුස් සමුද්‍රසන්ධිය ආශ්රිත බාධා හමුවේ, තෙල් අපනයනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කලාපීය නිෂ්පාදකයින් නෞකාවෙන් නෞකාවට තෙල් හුවමාරු කිරීමේ (Ship-to-Ship – STS) ක්‍රමවේදයක් භාවිතයට ගෙන තිබෙනවා.
ඒ අනුව, කුඩා ටැංකි නෞකා මගින් පර්සියානු ගල්ෆ් කලාපයේ සිට ඕමාන මුහුදු තීරය දක්වා තෙල් ප්‍රවාහනය කර, එහි නවතා ඇති විශාල නෞකාවලට පටවනු ලබනවා. පසුව එම විශාල නෞකා මගින් ආසියාව ඇතුළු අනෙකුත් වෙළඳපොළවල් වෙත තෙල් ප්‍රවාහනය කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අබුඩාබි ජාතික තෙල් සමාගම (ADNOC) සහ සවුදි ඇරම්කෝ (Saudi Aramco) ඇතුළු කලාපීය නිෂ්පාදකයින් මෙම ක්‍රමවේදයට වැඩි වශයෙන් යොමුවී තිබෙනවා. Kpler දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේදී ඕමාන් ගල්ෆ් කලාපයේ දිනකට හුවමාරු කරන තෙල් ප්‍රමාණය බැරල් මිලියන 2.5 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදය හේතුවෙන් ගෝලීය තෙල් ප්‍රවාහන පිරිවැය සහ නෞකා ගාස්තු වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර තෙල් බැරලයක මිලෙන් 2%–3%ක් වූ ප්‍රවාහන ගාස්තුව මේ වන විට 25%කට වඩා ඉහළ ගොස් ඇති අතර, චීනය දක්වා තෙල් ප්‍රවාහනය කිරීමේ ගාස්තුව බැරලයකට ඩොලර් 30 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
තෙල් සැපයුම් ජාලය මුළුමනින්ම අඩාල වීම වළක්වා ගැනීමට මෙම ක්‍රමවේදය උපකාරී වී තිබුණද, එහි සංකීර්ණත්වය සහ අධික පිරිවැය ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.













