160 වන පොලිස් දින සැමරුමට සමගාමීව බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති පැරෂුට් සංදර්ශනය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ රන් අකුරින් සටහන් විය.
එහිදී, පොලිස් දින සැමරුම් උත්සවයකදී පැරෂුට් සංදර්ශනයකට එක්වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තා පොලිස් නිලධාරිණිය ලෙස කාන්තා පොලිස් කොස්තාපල් බී. එම්. නිර්මලා කුමුදුණි සේනානායක ඉතිහාසයට එක්වූවාය. ඇය මේ වන විට පැරෂුට් පැනීම් 86ක් සාර්ථකව සම්පූර්ණ කර ඇති පළපුරුදු නිලධාරිණියකි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අභිමානවත් උත්සවයේදී, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 7 දෙනෙකුගෙන් සහ මෙම කාන්තා නිලධාරිණියගෙන් සමන්විත කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව මෙම සංදර්ශනය ඉදිරිපත් කර ඇත. පොලිස් පරීක්ෂක ඩබ්. එම්. එල්. ජී. යූ. වයි. පඩිවිට මහතාගේ නායකත්වයෙන් යුත් මෙම විශේෂ කණ්ඩායම වෙත සහභාගී වූ නිලධාරීන්ගේ දක්ෂතා නරඹන්නන්ගේ සහ ජනාධිපතිතුමා ඇතුළු විශේෂ ආරාධිතයින්ගේ දැඩි ඇගයීමට ලක්ව තිබේ.
















