නවීකරණය වන තැපැල් සේවාව සාම්ප්‍රදායික කටයුතුවලට පමණක් සීමා නොකර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ නිෂ්පාදන ක්ෂේත්රය සවිබලගන්වන ආර්ථික යටිතල පහසුකම් පද්ධතියක් ලෙස ස්ථානගත කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රුපියල් මිලියන 14.7 ක වියදමින් ඉදිකරන ලද පොකුණුවිට නව තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. තැපැල් සේවාවේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන යටතේ ඉදිකිරීම් ආරම්භ කළ නව තැපැල් කාර්යාල 17 අතුරින් ජනතා අයිතියට පත්කළ 11 වැනි තැපැල් කාර්යාලය මෙය වන අතර, මෙයින් සෘජුව සේවය සැලසෙන පවුල් සංඛ්‍යාව 4,319 කි. හොරණ නගරයේ තදබදය අවම කරමින් පොකුණුවිට ප්‍රදේශය උප නගරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඉංගිරිය නව කර්මාන්ත කලාපය හා අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති හරහා ප්‍රදේශයේ විශාල පිබිදීමක් අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ඔෂානි උමංගා සහ තැපැල්පති රුවන් සත්කුමාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















