ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියේ ස්ථාවරභාවය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ඕනෑම මොහොතක ග්‍රාමීය ප්‍රදේශවලට පූර්ව දැනුම්දීමකින් තොරව විදුලි කප්පාදුවක් සිදුවීමේ ඉඩකඩ පවතින බවත් බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.
වත්මන් ගැටලුව ජලය නොමැතිකම නොව, පද්ධතියේ උත්පාදන ධාරිතාව පිළිබඳ ගැටලුවක් බවත්, ජලාශවල ජල මට්ටම කුමක් වුවත් පද්ධතියේ ස්ථාවරභාවය පවත්වා ගැනීම අසීරු වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. පද්ධතියේ විශාලතම බලාගාරය වන ‘සෝබාධනවි’ (මෙගාවොට් 320ක්) හදිසියේ බිඳ වැටුණහොත් එය පියවා ගැනීමට අවශ්‍ය අවම සංචිත ප්‍රමාණය පසුගිය දින 11න් දින 5කදීම පවත්වා ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇත. විදුලි ඉල්ලුම තවත් මෙගාවොට් 100කින් පමණ ඉහළ ගියහොත්, පද්ධතියේ සමස්ත බිඳ වැටීමක් වැළැක්වීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවලට දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීමට ජාතික පද්ධති මෙහෙයුම් මැදිරිය කටයුතු කරනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.
















