ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්රදානෝත්සවය පවත්වන ලද අතර, එහිදී වසර 25කට වැඩි අඛණ්ඩ සේවා කාලයක් සහ යහපත් සේවා ඉතිහාසයක් හිමි ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකුට පදක්කම් පිරිනමන ලදී. රට සහ ජනතාව වෙනුවෙන් ජීවිත අවදානම නොසලකා ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉටු කළ සුවිශේෂී කාර්යභාරය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක් විය.
වර්තමානයේ රටක් ලෙස මුහුණදී සිටින ප්‍රධාන ගැටුම ශක්තිමත් රාජ්‍ය සේවයක් නොමැතිකම සහ එය බිඳවැටීමට ලක්වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක් ලෙස ඉදිරියට යාමට නම් අභියෝග ජයගත හැකි, වගකීමට වගකියන සහ ස්වයං විනයෙන් යුතු ශක්තිමත් රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළේය. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















