බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. වරදකරුවන් වූ සිරකරුවන්ට වඩා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව බන්ධනාගාර තදබදයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බවද එහිදී අනාවරණ වී තිබෙනවා.
විශේෂයෙන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන් මාස 18ක සිට වසර දෙකක් දක්වා කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ඇබ්බැහි වූ පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණයකින් පසු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා නීති සංශෝධනය කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබෙනවා. එමෙන්ම රැඳවියන් අධිකරණයට භෞතිකව රැගෙන යාම වෙනුවට වීඩියෝ සම්බන්ධතා ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සහභාගී කරවීමේ අවශ්‍යතාවද සාකච්ඡා කර තිබෙනවා.
වසර හතරකට අඩු දඬුවම් ලැබූ සිරකරුවන්, දඩ මුදල් ගෙවීමට නොහැකි සුළු වැරදිකරුවන්, වයෝවෘද්ධ සහ දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සිරකරුවන් සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද අවධානය යොමු වී ඇති අතර, වයස අවුරුදු පහට අඩු දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින මව්වරුන්ගේ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ යෝජනාවක්ද ඉදිරිපත් වී තිබෙනවා.













