බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්රාදේශීයව සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් වව්නියාව සහ යාපනය යන බන්ධනාගාර මුල් කරගනිමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශීය මට්ටමින් ශක්තිමත් සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීම මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වේ. දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාර ආවරණය වන පරිදි මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳව අදාළ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර තිබේ.
මෙම වැඩසටහනෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා අදාළ බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් කාන්තා අංශ, රිමාන්ඩ් සැකකරුවන් රඳවා සිටින ස්ථාන මෙන්ම යාපනය බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ද විශේෂ නිරීක්ෂණයට ලක් කරමින් රැඳවියන්ගේ අවශ්‍යතා සොයා බැලීය. එහිදී රැඳවියන් හමුවූ අමාත්‍යවරයා පවසා ඇත්තේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් මතුව ඇති ගැටලුවලට ඉදිරි මාස තුන ඇතුළත සුදුසු පිළියම් ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවය.














