27 April 2024
#ව්‍යාපාර

විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙණු කිරීමේදී ශ්‍රී ලංකා ඉදිරියට – ඇමැති රිෂාඩ්

2017 දී අන්ක්ටාඩ් සංවිධානය නිකුත් කරන ලද ව්‍යාපාර පාරිභෝගික කටයුතු ගෝලීය විද්‍යුත් වාණිජ්‍යය දර්ශකයට අනුව ශ්‍රි ලංකාව විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙණු කිරීමෙන් ලෝකයේ රටවල් 144 ක් අතුරින් 73 වන ස්ථානයේ පසුවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා පවසයි.

එමෙන්ම නැගෙනහිර, දකුණු හා ගිණිකොණදිග ආසියාවේ ඉහළ විද්‍යුත් වාණිජ්‍ය හරහා ගණුදෙනු කරන හා සංවර්ධනය වන රටවල් අතර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පළමු පෙළේ රටවල් 10 අතර සිටින බවත්, ඒ අනුව අප සතුව විද්‍යුත් වාණිජ්‍යය හරහා අන්තර්ජාලය භාවිතා කර ගණුදෙනු කිරීම මෙන්ම විදේශයන්ගෙන් පවා භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳ ඉහළ පාරිභෝගික විභවයක් පවතින බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(06) පෙරවරුවේ කොළඹ ටාජ් සමූද්‍රා හෝටලයේදී පැවති “විද්‍යුත් වාණිජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ මාර්ග සිතියමක් නිර්මාණය කිරීමේ ජාතික පොදු පෞද්ගලික කතිකාවේ” ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්.

මෙම ජාතික පොදු – පෞද්ගලික කතිකාව සංවිධානය කරනු ලැබුවේ ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රෙය් හා යුරෝපීය කොමිසමේ අනුග්‍රහය ඇතිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසිනි.

මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වැඩි කිරීම තුළින් කලාපීය හා යුරෝපීයානු වෙළෙඳපොළ සඳහා ඩිජිටල් තාක්‍ෂණික පහසුකම් තුළින් විද්‍යුත් වාණිජ්‍යය ව්‍යාපාරික මෙහෙයුමක්, ආචාරධර්මානුකූලව හා සාධාරණ ලෙස ඇති කර ගැනීමට මාර්ගෝපදේශන සකස් කිරීමය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා “2017 දී ගෝලීය විද්‍යුත් වාණිජ්‍යය හරහා සිදු කළ ගණුදෙනු හි අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 02 කට වඩා වැඩි බව ගණන් බලා තිබෙනවා. නැගෙනහිර, දකුණු හා ගිණිකොණදිග ආසියාවේ ඉහළ විද්‍යුත් වාණිජ්‍ය හරහා ගණුදෙනු කරන හා සංවර්ධනය වන රටවල් අතර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පළමු පෙළේ රටවල් 10 අතර ඉන්නවා. අපි සතුව විද්‍යුත් වාණිජ්‍යය හරහා අන්තර්ජාලය භාවිතා කර ගණුදෙනු කිරීම මෙන්ම විදේශයන්ගෙන් පවා භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳ ඉහළ පාරිභෝගික විභවයක් තිබෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙන්නේ 2017 UNCTAD, ව්‍යාපාර – පාරිභෝගික, විද්‍යුත් වාණිජ්‍යය දර්ශක වාර්තාවට අනුවයි. (2017 UNCTAD, Business to Consumer” E – CommerceIndex Report) ඒ අනුව ශ්‍රී ලංකාව රටවල් 144 ක් අතුරෙන් මෙම ශ්‍රේණිගත කිරීමේ 73 වන ස්ථානයේ පසුවෙනවා යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට විදුලි සංදේශ හ ඩිජිටල් යටිතල පහසුකම් අමාත‍්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ, යුරෝපීය කොමිසමේ දූත පිරිසේ ප්‍රධානී ප්‍රෑන්ක් හෙස් (Frank Hess) ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රයේ ආරාධිත විද්‍යුත් වාණිජ්‍යය විශේෂඥ මහාචාර්ය මයිකල් ගීෂ්ට් (Micheal Geist), ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රයේ ITC හා වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක ගිලිස් චැපල් (Giles Chappel) මහත්වරු සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *