එල්-නිනෝ (El Niño) පාරිසරික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාසවලදී අපේක්ෂිත වියළි කාලගුණයට මුහුණදීම සඳහා 2026/27 මහ කන්නයේ ජල සම්පත කාර්යක්ෂමව කළමනාකරණය කරගැනීමේ අරමුණින් කලාප අනුව වගා කාලසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් යෝජනා කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී නිලධාරීන් පෙන්වා දුන්නේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ අවම වර්ෂාපතනයක් ලැබෙන බැවින්, ජල සම්පත උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට ඔක්තෝබර් මුල සිටම වී වගාව ආරම්භ කළ යුතු බවයි. ඒ අනුව වලවේ, අල්ල, කවුඩුල්ල සහ ඇළහැර යන කලාප සඳහා අදියර හතරකින් වගා කටයුතු ආරම්භ කිරීමට යෝජනා කර ඇත. මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ අටක වී වගා කිරීමට රජය ඉලක්ක කර ඇති අතර, ඊට අවශ්‍ය තරම් බීජ වී සහ පොහොර තොග පවතින බව ද තහවුරු කර තිබේ.














