ශ්‍රී ලංකාව ජලභීතිකා රෝගයෙන් තොර රටක් බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ යම් “අදෘශ්‍යමාන හස්තයක්” මඟින් කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් පවතින බව පශු වෛද්‍ය සංගම් තුනක් චෝදනා කරයි.
ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය, සහකාර සත්ත්ව වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය යන සංගම් එක්ව මෙම අදහස් ප්‍රකාශ කර තිබේ. සහකාර සත්ත්ව වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති වෛද්‍ය නුවන් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, පශු වෛද්‍යවරුන් විසින් මාස පහක් වැනි කෙටි කාලයක් තුළ සුනඛයන් මිලියන 1.2 කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් කර ඇති බවයි. වසර 50ක කාලයක් පුරා ජලභීතිකා පාලනය භාරව සිටි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එන්නත් කර ඇත්තේ සුනඛයන් මිලියනයක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.
නව පනත් කෙටුම්පතක් මඟින් 1901 අංක 28 දරන බලු ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ 1893 ජලභීතිකා ආඥාපනත යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ තේරී පත් වූ සභාපති වෛද්‍ය චමරි කන්නන්ගර මහත්මිය ප්‍රකාශ කළාය. නව නීතිමය රාමුවක් සකස් කිරීම සඳහා දිගු කලක් තිස්සේ පෙනී සිටි බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.














