කොවිඩ් වසංගතයට පෙර දෛනිකව ධාවනය කළ දුම්රිය ගමන් වාර ප්‍රමාණයට සාපේක්ෂව මේ වන විට ධාවනය වන්නේ ගමන් වාර 200කටත් අඩු ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරන්නේ, වසංගතයට පෙර මිශ්‍ර දුම්රිය, සාමාන්‍ය දුම්රිය, තෙල් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඇතුළු දෛනික ගමන් වාර 420කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වූ බවයි. වසංගතයෙන් පසු 350ක් දක්වාත්, පසුව 250ක් දක්වාත් පහත වැටුණු ගමන් වාර සංඛ්‍යාව මේ වන විට 200ටත් වඩා අඩුවී ඇති අතර, පවතින දුම්රිය ද නියමිත කාලසටහන්වලට අනුව ක්‍රියාත්මක නොවන බව ඔහු චෝදනා කරයි.
දුම්රිය සේවාව මෙලෙස අඩපණ වීමට බලපා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් සංගමය විසින් පෙන්වා දෙයි. ‘දිට්වා’ ව්‍යසනයෙන් පසුව දුම්රිය එන්ජින් නවීකරණ කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවීම හේතුවෙන් සමස්ත සේවාවම බරපතල අර්බුදයකට මුහුණ දී තිබේ. එමෙන්ම, තලෙයිමන්නාරම් මාර්ගය නවීකරණය කළද, ධාවනයට අවශ්‍ය එන්ජින් හෝ දුම්රිය නොමැතිකම නිසා දෛනික ගමන් වාර හතරම මේ වන විට අත්හිටුවා ඇත. එම මාර්ගයට වෙන් කළ එන්ජින් වෙනත් මාර්ග සඳහා යොදවා තිබීම උතුරු මාර්ගයේ ධාවනයට ද බාධාවක් වී ඇත. මීට අමතරව ‘දිට්වා’ ව්‍යසනයෙන් පසු මාස හයක් ගතවී ඇතත්, බලන සහ ඉහළ කඩුගන්නාව අතර නායගිය ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම තවමත් සැලසුම් මට්ටමේ පමණක් තිබීම සහ පේරාදෙණිය පාලමේ කටයුතු අතරමග නතර වී තිබීම උඩරට මාර්ගයේ ප්‍රමාදයන්ට හේතු වී ඇත.
දුම්රිය ධාවනය කිරීම වෙනුවට ධාවනය නොකිරීම තුළින් දෙපාර්තමේන්තුවට ලාභයක් ලැබෙන බවට බලධාරීන් සිතන බවක් පෙනෙන්නට ඇති බවට ස්ථානාධිපති සංගමය චෝදනා කරයි. පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කළ යුතු කාලවකවානුවක දුම්රිය දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත්, මේ හේතුවෙන් දිනපතා මහජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් පෙන්වා දෙයි. පෙර පැවති මට්ටමටත් වඩා වැඩි සේවාවක් ජනතාවට ලබාදීමට වගකිව යුතු නිලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.















