ශ්රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් බටහිර දෙසට ඉවතට ගමන් කරමින් පවතින නමුත්, එහි බලපෑම හේතුවෙන් වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්තමේන්තුවේ අනාවැකිය අනුව, ඔක්තෝබර් 23 වැනිදා බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ ගාල්ල දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද අපේක්ෂා කෙරේ.
මේ අතර, බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශයේ, අන්දමන් දූපත් ආශ්රිතව තවත් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව ද වාර්තා වේ. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් දක්වා ශක්තිමත් විය හැකි අතර, එහි බලපෑමෙන් ඔක්තෝබර් 27 පමණ දක්වා දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි සහිත කාලගුණය පැවතිය හැකියි.
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස්, විශේෂයෙන් බහුදින ධීවර යාත්රා, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං පිළිබඳව ද ජනතාව අවධානයෙන් පසුවිය යුතු අතර, ගංගා නිම්න සහ නායයෑම් අවදානම් සහිත ප්රදේශවල පදිංචිකරුවන් ආරක්ෂක උපදෙස් පිළිපැදීම වැදගත් වේ.













