වෘත්තීය අධ්‍යාපනය සඳහා ආයෝජන සිදු කරමින්, රටේ ආර්ථික සංවර්ධනය සඳහා සෘජුව දායක විය හැකි මානව සම්පතක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන පද්ධතිය (TVEC) මගින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික මිලියනයක් පිරිනමා අවසන් බව සනිටුහන් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
මෙහිදී ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත්‍ර මිලියනයක් නිකුත් කිරීම සඳහා දායක වූ වෘත්තීය හා තාක්ෂණික පුහුණු ආයතනවලට සම්මාන පිරිනැමීම සිදුකෙරුණු අතර, දස ලක්ෂවෙනි NVQ සහතිකය හිමි කරගත් සිසුවාට අදාළ සහතිකපත්‍රය පිරිනැමීමද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු විය.
රජය විසින් ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ විශේෂ අවධානයක් වෘත්තීය අධ්‍යාපනයට ලබා දී ඇති අතර, පාසල් කාලය තුළදීම වෘත්තීය අධ්‍යාපනය ලබාගෙන උසස් අධ්‍යාපනය දක්වා එය හැදෑරීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරමින් පවතී. එමෙන්ම අධ්‍යාපන පද්ධතියට ඇතුළු වන සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ටද ජීවිතයේ විවිධ අවදිවලදී අධ්‍යාපනය නතර නොකර ඉදිරියට පවත්වාගෙන යා හැකි ජීවිත කාලය පුරා ඉගෙනීම (Life long learning) සංකල්පය හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.
උසස් පෙළ සඳහා වෘත්තීය අධ්‍යාපනය තෝරා ගන්නා සිසුන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණුව ලබාදීමට සහ රටට අවශ්‍ය මානව සම්පත ගොඩනැඟීමට පෞද්ගලික අංශයේ දායකත්වයද අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම අවස්ථාව සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ වෘත්තීය පුහුණු ආයතනවල සභාපතිවරුන් පිරිසක් එක්ව සිටියහ.














