ශ්‍රී ලංකා – ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපති Inoue Naoki මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
වයඹ පළාත් සභාව වෙත මෑතකදී ගිලන් රථ තුනක් සංගමයේ මැදිහත්වීම මත ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා – ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ඉදිරියටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට තමන් කැමැත්තෙන් පසුවන බව සංගමයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තහවුරු කරමින් ලබා දෙන මෙම සහාය ජනාධිපති ලේකම්වරයාගේ කෘතවේදී ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආචාර්ය ආර්. ඩී. ආර්. පෙරේරා, ජනාධිපති සහකාර ලේකම් ආර්. ඒ. රුවන්පතිරණ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා – ජපන් මිත්‍රත්ව සංගමයේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.














