මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ සම්මුතියේ 17 වන මහා සම්මේලනයේ (UNCCD COP17) “ජල දිනය” (Water Day) අමතමින්, තිරසාර භූමි කළමනාකරණය සහ නියඟයට ඔරොත්තු දෙන අනාගතයක් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ පුරාණ එල්ලංගා වැව් පද්ධතියේ දේශීය දැනුම සහ නවීන තාක්ෂණය ඒකාබද්ධ කරමින් ජල සම්පත ආරක්ෂා කිරීම, “වනස්පති” වැඩසටහන සහ තෙත්බිම් සංරක්ෂණය පිළිබඳව එහිදී පැහැදිලි කළ අමාත්‍යවරයා, දේශගුණික විපර්යාස හමුවේ නියඟය අර්බුදයක් වීමට පෙර ඊට මුහුණ දීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, නවීන තාක්ෂණය සහ මූල්‍ය පහසුකම් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය. “Restoring Land. Restoring Hope.” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී, භූමි හායනය වැළැක්වීම සහ ජල සුරක්ෂිතතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම හෙතෙම නැවත තහවුරු කළේය.














