දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල ප්‍රතිසාධන සහ සහන කටයුතු වෙනුවෙන් ස්ථාපිත කරන ලද ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ (Rebuilding Sri Lanka) අරමුදල සම්බන්ධයෙන් මතුව ඇති විවිධ කටකතා සහ චෝදනා හමුවේ කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා දැඩි ස්ථාවරයකින් අදහස් පළ කළේය.
මෙම අරමුදලට මේ වන විට දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් බිලියන 10ක මුදලක් ලැබී ඇති බව තහවුරු කළ අමාත්‍යවරයා, එම අරමුදල් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව නඟන අභූත චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.
“මේ අරමුදලේ එක සතයක්වත් අපි තවම අත තිබ්බේ නෑ. ලැබුණු හැම රුපියලක්ම රජයේ භාණ්ඩාගාරයේ ඉතාමත් සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා අවධාරණය කළේය. අරමුදල් අවභාවිතා වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා, මෙවැනි විපත්තිදායක අවස්ථාවක අරමුදලක පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන් රජය උපරිම වගකීමකින් කටයුතු කරන බව පෙන්වා දුන්නේය.
මෙම අරමුදල් වැය කිරීම සිදු කරන්නේ ඉතාමත් විධිමත් අධීක්ෂණ ක්‍රමවේදයකට යටත්ව පමණක් බවත්, අදාළ සහන කටයුතු සඳහා පූර්ණ අනුමැතිය ලැබුණු පසුව පමණක් භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ යහපත උදෙසාම මෙම මුදල් කැප කරන බවට ඔහු ජනතාවට සහතික විය.
















