‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් වූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බළකාය ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
ආපදා කළමනාකරණ ක්‍රියාවලියේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මුහුණ දෙන නිලධාරී හිඟය පියවීම සඳහා නව තාක්ෂණ නිලධාරීන් 125 දෙනෙකු බඳවාගෙන ඇති අතර, ඔවුන් ලබන සඳුදා සිට අදාළ ආයතන වෙත යොමු කෙරේ. අර්ධ හානි වූ නිවාස සඳහා වන්දි ගෙවීම් අවසන් වෙමින් පවතින අතර, පූර්ණ හානි වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ආධාර ලබා දීමේ ක්‍රියාවලියේ මාතලේ, පුත්තලම, කෑගල්ල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල මතුව ඇති ගැටලු නිරාකරණයට අවධානය යොමු විය.
මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා චීනය සහ ඉන්දියාව ආධාර ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය. භූමි ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට බලපෑ ආපදාව හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතු අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සමඟ සමගාමීව සිදු කිරීමේ අභියෝග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. යුනිසෙෆ් ආයතනයේ වාර්තාවලට අනුව, ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල් යන වයසේ පසුවන සියලුම දරුවන් නැවතත් සාමාන්‍ය පරිදි පාසල් යාම ආරම්භ කර ඇත.
දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවා ඔවුන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමටත්, සිවිල් සංවිධානවල නියෝජිතයින් මෙම වැඩපිළිවෙළට වඩාත් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමටත් තීරණය විය. තවදුරටත් අවශ්‍ය සොයා බැලීම් කිරීමේ වගකීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත පැවරිණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය උපාලි පන්නිලගේ, වෛද්‍ය සුසිල් රණසිංහ සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.
















