ශ්‍රී ලංකාවේ සිල්ලර අංශයේ ඉදිරි පරිවර්තනය සහ ආර්ථික වර්ධන විභවයන් ඉලක්ක කරගනිමින්, ශ්‍රී ලංකා සිල්ලර වෙළෙන්දන්ගේ සංගමය (SLRA) විසින් සංවිධානය කරනු ලබන ‘2026 ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ සංසදය’ එළැඹෙන සැප්තැම්බර් 10 වන දින කොළඹ, සිහින නගරයේ, සිනමන් ලයිෆ් හි ලුමිනා බෝල්රූම් හිදී පැවැත්වීමට නියමිතය. “සීමා රහිත සිල්ලර වෙළඳාම: ඊළඟ වර්ධන එන්ජිම ගොඩනැගීම” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික මට්ටමේ සමුළුව සඳහා ව්‍යාපාරික නායකයින්, තීරණ ගන්නන්, තාක්ෂණ විශේෂඥයින් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු 500 කට අධික ජ්‍යෙෂ්ඨ පාර්ශ්වකරුවන් පිරිසක් එක්වීමට සූදානම්ව සිටිති. වර්තමාන ආර්ථික පසුබිම තුළ මෙරට සිල්ලර වෙළඳ අංශය නව තාක්ෂණික ප්රවණතා සමඟ මුසු කරමින් ජාතික සංවර්ධනයට ලබා දිය හැකි දායකත්වය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කෙරේ.
මෙම සමුළුවේදී සිල්ලර වෙළඳාමේ වර්ධනය, ඵලදායිතාව, ඩිජිටල් වාණිජ්‍යය, කෘතිම බුද්ධිය (AI), දත්ත විශ්ලේෂණය සහ ස්වයංක්‍රීයකරණය හරහා සිදුවන ව්‍යාපාර පරිවර්තනයන් ගැඹුරින් පරීක්ෂා කරනු ලබයි. ප්‍රධාන දේශනය Deloitte Touche Tohmatsu India LLP හි හවුල්කාරිනී සෞම්‍යා ද්විබේදි මහත්මිය විසින් පවත්වනු ලබන අතර, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ජාතික ප්‍රතිපත්තිමය දැක්ම ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම, දිවයිනේ ප්රමුඛ පෙළේ විද්වතුන් සහ ව්‍යවසායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ සැසි සහ තාක්ෂණික මණ්ඩල සාකච්ඡා හරහා ගෝලීය සහ කලාපීය වෙනස්කම්වලට මුහුණ දීමේ උපාය මාර්ග මෙන්ම පාරිභෝගික අත්දැකීම් නංවාලන නවීන ක්‍රමවේදයන් පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වනු ඇත.
මෙවැනි සංසද හරහා බිහිවන නව්‍ය අදහස් සහ තාක්ෂණික විසඳුම්, මෙරට සිල්ලර වෙළඳ අංශය අනාගත අභියෝග ජයගත හැකි ස්ථාවර මට්ටමකට ඔසවා තැබීමට ප්‍රධාන රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කීල්ස්, සිංගර් සහ BYD ඇතුළු ප්රමුඛ පෙළේ ආයතන රැසක අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම සමුළුව, දැනුම හුවමාරු කර ගැනීමටත් ව්‍යාපාරික සබඳතා පුළුල් කර ගැනීමටත් ලැබෙන කදිම වේදිකාවක් වන අතර, එය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ගමන් මඟට වැදගත් බලපෑමක් එල්ල කරනු ඇත.














