ආසියානු පිරිමි රග්බි ශූරතාවලියේ 2026 තරගාවලියේ තීරණාත්මක තෙවැනි වටයේ තරගයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම (ශ්‍රී ලංකා ටස්කර්ස් – Sri Lanka Tuskers) අද (10) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. දකුණු කොරියාවේ නම්ඩොං ආසියානු රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක දකුණු කොරියානු කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය. මෙම තරගය ආසියානු රග්බි ශූරතාවලියේ ඉදිරි ගමනට මෙන්ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක් හිමිකර ගැනීම සඳහා ද අතිශය වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ. හොංකොං සහ දකුණු කොරියාව වැනි ආසියාවේ ප්‍රබල කණ්ඩායම් සමඟ කරට කර තරග වදිමින් මව්බිමේ ගෞරවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙහිදී සූදානමින් සිටිති.
කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සමඟ විශේෂ හමුවකට අද එක්වූ අතර, එහිදී ක්‍රීඩකයන්ගේ කැපවීම සහ දක්ෂතා අගය කළ අමාත්‍යවරයා තරගාවලිය පුරාම කණ්ඩායම වෙත අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කරමින් සිය සුබපැතුම් පිරිනැමීය.















