රටේ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කරමින්, දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ ගමනාගමන දුෂ්කරතා මඟහරවා මෙන්ම ඔවුන්ගේ ආර්ථික හා සමාජීය ජීවිත නංවාලීමේ අරමුණින් දිවයින පුරා ග්‍රාමීය පාලම් 881ක් ඉදිකිරීමේ මහජන සුභසාධක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම දැවැන්ත ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ප්‍රමුඛතා පදනම මත තෝරාගත් පාලම් 100ක ඉදිකිරීම් කටයුතු මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම පාලම් ඉදිකිරීම හරහා ගම්මාන සහ නගර යා කරමින් ජනතාවට බාධාවකින් තොරව ගමනාගමනය සිදු කිරීමටත්, අස්වැන්න වෙළඳපොළට රැගෙන යාමට පහසුකම් සැලසීමටත්, විශේෂයෙන්ම පාසල් දරුවන්ට සහ රෝගීන්ට මුහුණ දීමට සිදුවන ගමනාගමන ගැටලුවලට ස්ථිරසාර විසඳුමක් ලබා දීමටත් අපේක්ෂිතය.
















