27 April 2024
#සංවර්ධන

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කර ඇති අතර එය 2027 වසර අවසන්වන විට මෙරට බිම් බෝම්බ වලින්තොර රටක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම එළිදැක්වීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පසුගිය සිකුරාදා (31) දින සිදු කෙරිණ.

මෙම වැඩසටහනට පැමිණ සිටි තානාපතිවරුන්ට, මහකොමසාරිස්වරුන්ට සහ විදේශීය නියෝජිතයින්ට මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමට අදාළ සැලැස්ම ප්‍රදානය කෙරුණේ අමාත්‍යංශ ලේකම්තුමා විසිනි.

ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ සහාය ඇතිව බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය විසින් 2023 වසරේ සිට 2027 වසර දක්වා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී උපායමාර්ගික වැඩසටහන සකස් කර ඇත. මෙරට බිම් බෝම්බ වලින් නිදහස් කර ගැනීම සදහා ජාතික හා අන්තර්ජතික පාර්ශවකරුවන් සමග සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට මේ යටතේ රජය බලාපොරොත්තු වේ.

2002 වසරේ සිට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක වන අතර 2010 වසරේදී ඒ සඳහා ‘බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ ආරම්භ කෙරිණ. පසුගිය කාලය තුළ මෙම මධ්‍යස්ථානය විවිධ අමාත්‍යංශයන් යටතේ ක්‍රියාත්මක වු අතර වර්තමානයේ එය ක්‍රියාත්මක වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය යටතේයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය එමගින් සිදුකරනු ලබයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිවාස හා සංවර්ධන) ඩබ්ලිව්.එම්. ආනන්ද, ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ඕසා මස්ලිබර්ග්, බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. පේමචන්තිරන්, ශ්‍රී ලංකා යුධ හමුදා මානුෂවාදී බිම් වෙඩි ඉවත් කිරීමේ ඒකකයේ ප්‍රධානී මේජර් ජනරාල් එම්.කේ. ජයවර්ධන, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් රජිත අම්බලන්පිටිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *