විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජර්මානු බුන්ඩස්ටාග් පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජිත පිරිස අතර සුවිශේෂ හමුවක් ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුව තිබේ. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම ආයෝජන, තාක්ෂණය, කුසලතා, දැනුම හා නවෝත්පාදනය මත පදනම් වූ ඉදිරිගාමී හවුල්කාරීත්වයක් ගොඩනැගීම සම්බන්ධයෙන් මෙහි දී විශේෂ අවධානය යොමු කර ඇත.
ඵලදායිතාව මත පදනම් වූ ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව ගමන් කිරීමේ අවශ්‍යතාව, තාක්ෂණික හා වෘත්තීය කුසලතා වර්ධනය, පුනර්ජනනීය බලශක්තිය, දේශගුණික ඔරොත්තුදීමේ හැකියාව, තිරසර සංවර්ධනය සහ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමේ වැදගත්කම විපක්ෂ නායකවරයා ජර්මානු දූත පිරිස හමුවේ අවධාරණය කර තිබේ. නිෂ්පාදන ධාරිතාව, රැකියා අවස්ථා, තාක්ෂණ හුවමාරුව සහ දිගුකාලීන ආර්ථික වටිනාකම ඇති කරන හවුල්කාරීත්වයන් වෙත අවධානය යොමු කළ යුතු බවත්, රටේ ස්වභාවික උරුමය ආරක්ෂා කරමින් ජාතික ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කළ යුතු බවත් හමුවේදී වැඩිදුරටත් පවසා ඇත.
මෙම සුහද සහ ඵලදායී හමුව සඳහා ජර්මානු දූත පිරිස නියෝජනය කරමින් නියෝජිත පිරිස් ප්‍රධානී මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නික්ලස් කප්පේ (Mr. Nicklas Kappe), පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙරෝල්ඩ් ඔටන් (Mr. Gerold Otten), පාර්ලිමේන්තු මන්ත්‍රී යොහාන් සාත් (Mr. Johann Saath), දූත මණ්ඩల ලේකම් උලේ ෂෝස් (Ms. Ulle Schauws) සහ කැටරිනා බිනර්ට් (Ms. Katerina Bienert) යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. ඊට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම විශේෂඥයන් සහ වෘත්තිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.














