වර්තමාන රජයේ ප්‍රධාන අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ වගකීම පැවරී ඇත්තේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වන අතර, 2029 වන විට පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීම දෙපාර්තමේන්තුවේ ඉලක්කය වී තිබේ. “ප්‍රජා සවියට නව බලයක්” යන තේමාව යටතේ නුවරඑළිය නව නගර ශාලා පරිශ්‍රයේදී පැවති නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මේ බව ප්‍රකාශ කළේය.
අස්වැසුම ප්‍රතිලාභීන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම සහ ජනතාව “යැපුම් මානසිකත්වයෙන්” මුදවා ගැනීම වර්තමානයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ප්‍රධානතම වගකීම හා අභියෝගය බව අමාත්‍යවරයා අවධාරණය කළේය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව සමෘද්ධි බැංකු 430ක්, බැංකු ශාඛා 1,097ක්, බැංකු සංගම් මූලස්ථාන 333ක් සහ රුපියල් බිලියන 800කට අධික මූල්‍ය වත්කම් ප්‍රමාණයක් පවතින බැවින්, මෙම දැවැන්ත මූල්‍ය ශක්තිය සහ මානව සම්පත උපයෝගී කරගනිමින් සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශය ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ අරමුණ බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















