බදු ප්‍රතිපත්ති සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තා සනීපාරක්ෂක තුවා මිල ඉහළ යෑමෙන් ග්‍රාමීය කාන්තාවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ‘ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ’ සඳහන් කරයි.
ඩොලරයේ අගයෙහි උච්ඡාවචනයන් සහ රුපියලේ අගය සමඟ සනීපාරක්ෂක තුවා මත විවිධ බදු වර්ග ක්‍රියාත්මක වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ආසියාවේ ඉහළම මිල අගයකට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට සිදුව ඇත. සනීපාරක්ෂක තුවා මිල ඉහළ යෑම නිසා ග්‍රාමීය කාන්තාවන්, පාසල් දැරියන් සහ තරුණියන් ආර්ථවහරණය සිදුවන දිනවලදී සිය රාජකාරි හෝ පාසල් අධ්‍යාපනයට සහභාගී නොවීමට කටයුතු කිරීම මෙරට ආර්ථිකයට ද සෘජු බලපෑමක් එක්කර තිබේ. වර්තමාන දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා මිල ගණන් ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල මිල ගණන් ද ඉක්මවා ගොස් ඇති බව ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කරයි.

