ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාර්ථක රාජ්‍යතාන්ත්‍රික පියවරයන් ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් මෙම කරුණු අනාවරණය කළේය.
RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීමට පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර ඇත. ගෝලීය ජනගහනය සහ ආර්ථික නිපැයුම් අතින් විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP, රටවල් 15ක සහභාගීත්වයෙන් පිහිටුවා ඇත. මීට ආසියාන් (ASEAN) සාමාජික රටවල් 10ට අමතරව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව ඇතුළත් වේ. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඍජු ගුවන් සබඳතා වර්ධනය කිරීමේ එකඟතාවක් අනුව, එළඹෙන අගෝස්තු මාසයේ සිට දෙරට අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















