දකුණු කොරියානු රජය සමඟ පවතින සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින්, ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසකට ගුවන් ප්‍රවේශපත් බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම උත්සවය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ මූලස්ථානයේදී සංවිධානය කර තිබුණි.
නිල දත්තවලට අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ කෙටි කාලය තුළ පමණක් දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමි කරගත් ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 1,067 දක්වා ඉහළ ගොස් ඇත. මෙදින පැවති උත්සවයේදී තෝරාගත් තවත් ශ්‍රී ලාංකිකයන් 68 දෙනෙකු සඳහා විදේශගත වීමට පෙර ලබාදෙන අවසන් උපදෙස් මාලාව සැපයීම සහ ඔවුන්ගේ ගුවන් ප්‍රවේශපත් ප්‍රදානය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.














