හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මෙරටට ගෙන්වන ලද තුන්වන ගල්අඟුරු නෞකාව ප්‍රතික්ෂේප කළහොත් අඛණ්ඩ විදුලි සැපයුම පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් වනු ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
බියුරෝ වෙරිටාස් (Bureau Veritas) ආයතනය මගින් සිදුකළ පරීක්ෂණ වාර්තාවලට අනුව, මෙම ගල්අඟුරුවල අළු ප්‍රතිශතය නියමිත සීමාවට වඩා වැඩි වී ඇත්තේ දශම හයකින් (0.6%) පමණක් බවත්, තාප ධාරිතාව 5995 සිට 6008 දක්වා පරාසයක පවතින බැවින් තාප ජනනය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම නෞකාව ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රායෝගික අපහසුතා පැහැදිලි කළ අමාත්‍යවරයා, වාරකම් කාලය හේතුවෙන් සැප්තැම්බර් මාසය වන තෙක් යළි ගල්අඟුරු ගොඩබෑමේ හැකියාවක් නොමැති බවත්, වෙනත් තාප විදුලි ප්‍රභව වෙත යොමු වීමට සිදුවන බවත් සඳහන් කළේය.
ප්‍රමිතියෙන් බාල වුවද මෙම තොගය නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනනය සඳහා භාවිතා කළ හැකි බවත්, සැපයුම්කරුට දඩයක් පැනවීමට හෝ ගෙවිය යුතු මුදලින් කොටසක් රඳවා ගැනීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.













