27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාව කොවිඩ් පාලනයෙන් , එන්නත්කරණයෙන් ඉහළ සාර්ථකත්වයක -ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස්

ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය මෙන්ම එන්නත්කරණ ක්‍රියාවලිය ඉහළ සාර්ථකත්වයක් අත් කරගෙන ඇති බවත් එය ප්‍රසාදයට ලක් කරන බවත් ශ්‍රී ලංකාවේ වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Amanda Jewell මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදීය. මෙම අවස්ථාවට යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත Christian Skoog මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. එම හමුවෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත යුනිසෙෆ් සංවිධානය හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 842156 ක වෛද්‍ය උපකරණ හා සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම සිදුවිණී.

ළමා මෙන්ම වැඩිහිටි පිරිස් සඳහාද කෘතිම ශ්වසනය ලබා දීමට භාවිතා කළ හැකි පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකි නවීන තාක්ෂණය මුසු වූ High flow machine 02 ක් හා Oxygen concentrators 02 ක් මෙහිදී සංකේතාත්මකව පරිත්‍යාග කෙරිණි. මෙය කොවිඩ් – 19 ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය උපකරණ වන අතර ඔක්සිජන් මට්ටම සාමාන්‍ය තත්ත්වයක පවත්වා ගැනීමට යොදා ගනී.

මෙයට අමතරව London Stock Exchange Group ආයතනය මගින් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුවිණී. මේ වන විට වසා දමා තිබෙන ඕස්ට්‍රේලියාවට ඇතුල් වීම සඳහා වන සීමාවන් ක්‍රම ක්‍රමයෙන් ලිහිල් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ඉදිරි තත්ත්වය සලකා බලා මේ සඳහා වන වැඩපිළිවෙල සකස් කරන බවත් ශ්‍රී ලංකාවේ වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Amanda Jewell මහත්මිය කීය.ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික හුවමාරු වැඩසටහන් ඉදිරියට වඩාත් ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද මේ සඳහා සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *