පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටියදී රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා තවමත් ආහාර හෝ ජලය ලබා නොගනිමින් උපවාසයේ නිරත වන බව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පවසයි.
තමන්ට සිදුවන බව කියන වධහිංසාවලට විරෝධය පළ කරමින් පසුගිය ජූනි 05 වන දින රාත්‍රියේ සිට ඔහු මෙම උපවාසය ආරම්භ කර තිබුණි. ඉන් අනතුරුව උද්ගත වූ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුව කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.
ජූනි 08 වන දින රෝහලේදී සිය සැමියාගේ සුවදුක් බැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ මනෝරි සලේ මහත්මිය සඳහන් කළේ, වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දුන්නද සුරේෂ් සලේ මහතා ආහාර හෝ ජලය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් උපවාසයේ නිරත වන බවයි.
මේ අතර, සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් කොන්දේසි සහ ඔහුට සිදුවන බව කියන අමානුෂික සැලකීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ ද අවධානය යොමුව ඇති අතර, අදාළ විමර්ශන සිදුකරන නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මීට අමතරව, සිවිල් සංවිධාන සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ඔහුගේ ආරක්ෂාව සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා සත්‍යග්‍රහයක ද නිරත වෙමින් සිටිති.
















