දේශීය ලොකු ලූනු වගාවේ නිෂ්පාදන වියදම අවම කර අස්වැන්න දෙගුණ කිරීම මගින් මෙරට ලොකු ලූනු අවශ්‍යතාවෙන් 50%ක් රට තුළම නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අධ්‍යක්ෂ පී. සිසිර කුමාර මහතා මේ බව ප්‍රකාශ කළේය.
‘පුනරුදයට අරුණලු’ ජාතික කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මෙම නව ප්‍රවේශය යටතේ මාතලේ, අනුරාධපුර, කුරුණෑගල, පොලොන්නරුව, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
නව තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් අක්කරයකින් ලැබෙන සාමාන්‍ය අස්වැන්න කිලෝ ග්‍රෑම් 8,000ත් 10,000ත් අතර ප්‍රමාණයේ සිට කිලෝ ග්‍රෑම් 16,000 දක්වා දෙගුණ කරගත හැකි අතර, තෝරාගත් ගොවීන් සඳහා බිංදු ජල සම්පාදන පද්ධති, සූර්ය බල පොම්ප, වැසි ආවරණ ගෘහ සහ නිර්දේශිත බීජ සහන මිලට ලබා දීමට කටයුතු යොදා ඇත. මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 320,000ක් වන අතර, ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 25,000ක් පමණ වැය වන බැවින් මෙමඟින් එම විදේශ විනිමය කාන්දුව අවම කරගත හැක. ලොකු ලූනු වගාව පිළිබඳ උනන්දුවක් දක්වන ගොවීන්ට 1920 දුරකතන අංකය ඇමතීමෙන් හෝ ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන් හමුවීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.














