දුරකථන රැහැන් සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පසුගිය සෙනසුරාදා (13) රාගම සහ මොරටුව ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී අයිස් (ICE) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17.7ක් ද සොයාගෙන ඇත. මොවුන් රතුපස්වල සහ කඩවත ප්‍රදේශයේ පදිංචි 27 සහ 34 වයස්වල පසුවන්නන්ය. ප්‍රදේශයේ දුරකථන සන්නිවේදන කුලුනුවලින් රැහැන් කපා සොරා ගැනීම හේතුවෙන් රුපියල් 922,750ක පාඩුවක් සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගත් දුරකථන රැහැන් තොගයක් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
මීට අමතරව, මොරටුව පොලිසිය විසින් සිදුකළ වෙනත් වැටලීමකදී රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු රුපියල් 180,000ක් වටිනා දුරකථන රැහැන් ඇතුළු දේපොළ සොරකම් කිහිපයකට සම්බන්ධ අයෙකි. වැඩිදුර විමර්ශනවලදී සොරාගත් රූපවාහිනී යන්ත්‍රයක් සහ තඹ වයර් තොගයක් ද පොලිසිය භාරයට ගෙන ඇත. රාගම සහ මොරටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















