අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 08කට අධික වටිනාකමකින් යුතු පෙළපොත් තොගයක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නියමිතව තිබූ පෙළපොත් 19,892ක් ප්‍රවාහනය කිරීම සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගත වූ බියගම ප්‍රදේශයේ ආයතනයකට අයත් ලොරි රථයක රියදුරු විසින් පසුගිය මැයි මාසයේදී මෙම පොත් තොගය භාරගෙන තිබුණි. කෙසේ වෙතත්, පොත් තොගය අදාළ ගමනාන්තයට නිසි පරිදි භාරදී නොමැති බවට තොරතුරු ලැබීමත් සමඟ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු නිලධාරියෙකු විසින් තලංගම පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ලොරි රථයේ රියදුරු විසින් එම වටිනා පෙළපොත් තොගය කඩදාසි බරට බෝතල් පත්තරකරුවෙකුට විකුණා රුපියල් 470,00ක මුදලක් ලබාගෙන ඇති බවයි. ඒ අනුව, එම පොත් තොගය මිලදී ගත් පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් එම පොත් පෑලියගොඩ ප්‍රදේශයේ පරණ පත්තර සහ කඩදාසි අඹරන ආයතනයකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
















