කලක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් බාල සොහොයුරා විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ වැඩිමහල් සොහොයුරා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අගලවත්ත, හෑළඹ පන්විලහේනවත්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පෙදරේරුවෙකි. ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ මුහුණ, පපුව, පිට, උදරය සහ අත් පිළිස්සී ඇති බව පොලිසිය පවසයි.
තුවාලකරු පොලිසියට ලබා දී ඇති ප්‍රකාශයට අනුව, ඉකුත් 11 වැනි දින රාත්‍රී 8:30 ට පමණ පියා නිවසේ නොසිටීම නිසා ඔහු ගැන විමසූ අවස්ථාවේදී, මල්ලී නිතර පියාට පහර දෙන බැවින් පියා තම නිවසට රැගෙන යාමට උත්සාහ කර ඇත. එහිදී කුපිත වූ මල්ලී නිවස තුළට දුව ගොස් ඇසිඩ් ගෙනැවිත් වැඩිමහල් සොහොයුරා දෙසට විසි කර තිබේ.
ප්‍රහාරයෙන් බිම වැටී කෑගැසූ තුවාලකරු අසල්වැසියන් විසින් මුලින් වෑත්තෑව රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලටත් මාරු කර යවා ඇත. අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. වී. ඩී. එන්. පී. විජේගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















