ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ආර්ථික, සංස්කෘතික සහ ඓතිහාසික සබඳතා, වර්තමාන ගෝලීය ප්‍රවණතාවලට ගැළපෙන පරිදි වෙළෙඳ, සංචාරක, තාක්ෂණ සහ තිරසාර සංවර්ධන ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කිරීමට රජය සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා – තායිලන්ත ව්‍යාපාරික කවුන්සිලයේ 25 වැනි සංවත්සර මහා සභාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
පසුගිය වසර 25ක කාලය පුරා දෙරටේ පෞද්ගලික අංශය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපාරික කවුන්සිලය ඉටුකළ මෙහෙවර අමාත්‍යවරයා මෙහිදී ඇගයීමට ලක් කළේය. මෙම කවුන්සිලය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ව්‍යවසායකයින් හා ජනතාව යා කරන ප්‍රායෝගික පාලමක් ලෙස ක්‍රියා කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරි අනාගතය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, වෙළෙඳ, සංචාරක, ප්‍රවාහන හා සැපයුම් දාම, තාක්ෂණික සහ තිරසාර සංවර්ධන ක්ෂේත්‍රයන්හි දෙරටටම අත්කරගත හැකි සැබෑ අවස්ථා රැසක් පවතින බවයි. එම අවස්ථා උදාකර ගැනීම සඳහා නිරන්තර සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය පෙරදැරිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
ආගමික, සංස්කෘතික හා ඓතිහාසික සබඳතාවලින් ශක්තිමත් වූ දෙරටේ මිත්‍රත්වය, වර්තමානයේ වර්ධනය වන ආර්ථික සහයෝගීතාව තුළින් වඩාත් තහවුරු වන බවද අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
















