රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට එරෙහිව අසාද් මවුලානා විසින් එල්ල කරන ලද චෝදනා අසත්‍ය බව ජනාධිපති කොමිසමක් මගින් සැකයෙන් ඔබ්බට තහවුරු කර තිබියදීත්, ඔහුව දිගින් දිගටම රඳවා තබා ගැනීම විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස හෙළා දකී. ඔවුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ අරමුණින් රජය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. අසාද් මවුලානා යනු හිටපු LTTE සාමාජිකයෙකු, ISIS හිතවාදියෙකු මෙන්ම ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ විවෘත වරෙන්තු දෙකක් ද පවතින අයෙකු බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
සුරේෂ් සලේ මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රංශයේ සිටින හිටපු LTTE ත්‍රස්තවාදියෙකු ලබා දුන් ප්‍රකාශයක් මත පදනම්ව බවත්, එය ප්‍රංශයේ LTTE ජාලය විනාශ කිරීමට දායක වූ සලේ වැනි යුද වීරයෙකුට සිදුකරන අගෞරවයක් බවත් විශ්‍රාමික ධජ නිලධාරීන් පෙන්වා දෙයි. එපමණක් නොව, රැඳවුම් කුටිය තුළ ඔහුට අමානුෂික ලෙස සැලකීම සහ ඔහු චූදිතයෙකු ලෙස රඳවා තබා ගැනීම යුක්ති සහගත නොවන බවත්, ඔහු රඳවා සිටින තාක් කාලය තුළ නිසි ගෞරවයෙන් සැලකිය යුතු බවත් එම නිලධාරීන් රජයට අවධාරණය කරයි.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සුරේෂ් සලේ මහතා මේ වන විට දින 13ක් පුරා එහි ප්‍රතිකාර ලබමින් සිටී. අද (20) පෙරවරුවේදී ද ඔහුගේ දියණිය සහ පුත්‍රයා රෝහල වෙත පැමිණ ඔහුගේ සුවදුක් විමසා බැලූ අතර, සලේ මහතාගේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔවුන් දැඩි අවධානයෙන් පසුවෙයි.
















