දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අද (21) පස්වරු 1:00න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද, දකුණ සහ ඌව යන පළාත්වලට මෙන්ම මන්නාරම, වවුනියාව, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට ද ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම එළිමහන් ස්ථානවල රැඳී නොසිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් වැඩිදුරටත් උපදෙස් දී ඇත. පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි ආපදා අවම කර ගැනීම සඳහා අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ.















