අවිධිමත් ක්‍රම මඟින් ලබාගෙන ඇති සිම් කාඩ්පත් භාවිත කර සිදුකරන නීතිවිරෝධී ක්‍රියාවන්හි වැඩිවීමක් වාර්තා වී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා මේ බව සඳහන් කළ අතර, පොලීසිය ඇතුළු නීතිය ක්‍රියා කරන ආයතනවල ඉල්ලීම මත සිම් රෙගුලාසි යාවත්කාලීන කර ඇති බව හෙතෙම කියා සිටියේය. ඒ අනුව, මෙම වසර අවසානයේ සිට අලුතින් සිම් කාඩ්පත් ලබා ගන්නා අයට සජීවී ඡායාරූපයක් (live photo) සමඟ එය ලබා ගැනීමට සිදුවන අතර, 2027 වසර වන විට සියලුම සිම් පාරිභෝගිකයන් හඳුනා ගැනීම සියයට සියයක් සහතික වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමඟින් සාමාන්‍ය ජනතාවට හෝ විදේශිකයන්ට කිසිදු ගැටලුවක් නොවන අයුරින් රටේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා සිම් භාවිතය අවම කිරීම අපේක්ෂා කෙරේ.














