මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම ශ්‍රී ලාංකිකයින් අනිවාර්යයෙන්ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් (TIN) අංකය ලබාගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යළිත් අවධාරණය කරයි. මේ වන විට මිලියන 13කට අධික පිරිසක් ටින් අංකය ලබාගෙන තිබුණද, තවත් පුද්ගලයින් ලක්ෂ 04කට ආසන්න පිරිසක් එය ලබාගෙන නොමැති බව එම දෙපාර්තමේන්තුව පවසයි. සමස්තයක් ලෙස මෙරට පුද්ගලයින් මිලියන 17ක් පමණ මෙම අංකය ලබා ගැනීමට නීතියෙන් බැඳී සිටිති.
මෑතකදී සම්මත වූ 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධිත පනතට අනුව, එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය සේවාවන් රැසක් සඳහා ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව ඕනෑම වාණිජ බැංකුවක අලුතින් බැංකු ගිණුම් විවෘත කිරීම, මෝටර් රථ වාහන අලුතින් ලියාපදිංචි කිරීම සහ වාර්ෂිකව ඒවා අලුත් කිරීම, නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම්වල කොටස් නීත්‍යානුකූලව හුවමාරු කිරීම සහ බැංකු හරහා ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගැනීම වැනි ප්‍රධාන පෙළේ මූල්‍ය හා වාණිජ ගනුදෙනු සඳහා මෙම අංකය අනිවාර්ය වේ.
තවද, අදාළ නව සංශෝධිත පනතට අනුව පුද්ගලයින් සතු ටින් අංකය තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස රජය විසින් සලකනු නොලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
















