ශ්‍රී ලංකාව මේ වන විට අනුගමනය කරමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමයි. ඒ අනුව 2021 සිට 2026 දක්වා කාලය තුළ රජය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, විදුලිය, ගෑස්, සබන් ඇතුළු පොදු ජනතාව පරිභෝජනය කරන බොහෝ දේ මත බදු බර ඉහළ නංවා ඇත. කෙසේ වෙතත්, මෙම බදු බර සාමාන්‍ය ජනතාව වෙත පැටවෙද්දී, දුම්වැටි මත පැනවිය යුතු බදු ප්‍රතිශතය පසුගිය වසර කිහිපය තුළ නිහඬවම 7.2%කින් පහත වැටී ඇති බව අනාවරණය වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව දුම්වැටි මිලෙන් 75%ක් රජයේ බදු ආදායමක් විය යුතු වුවද, 2018 වසරේදී 74%ක්ව පැවති මෙම බදු ප්‍රතිශතය 2026 වසර වන විට 66.8% දක්වා පහළ බැස තිබේ. රජය විසින් දුම්වැටි බදු වැඩි කළ බවට ප්‍රසිද්ධියක් ලබා දුන්නද, දුම්වැටි නිෂ්පාදන සමාගම් විසින් මිල ඉහළ නංවන ප්‍රමාණයට සාපේක්ෂව එම බදු වැඩිවීම සිදු නොවූ බව දත්ත පෙන්වා දෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇත්තේ දුම්වැටි සමාගම් සිය ලාභය අධික ලෙස ඉහළ නංවා ගැනීමයි.
මෙම අක්‍රමවත් බදු ක්‍රමවේදය හේතුවෙන් වාර්ෂිකව රජයට අහිමි වන ආදායම රුපියල් කෝටි 1730ක් (රුපියල් බිලියන 17.3ක්) ලෙස ගණන් බලා ඇත. අතිරේක නීති හෝ ජනතාව මත නව බදු බරක් පැටවීමකින් තොරව, පවතින බදු ප්‍රතිපත්තිය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් පමණක් මෙම ආදායම රජයට අත්කර ගත හැකිව තිබේ. ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ බදු ගෙවන අවස්ථාවක, මෙවැනි ප්‍රධාන නිෂ්පාදනයක් මත බදු ප්‍රතිශතය පහළ දැමීම ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් දැඩි විවේචනයට ලක්ව ඇත.
















