සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ විදේශ රැකියා ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී, 2030 වසර වන විට මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ලක්ෂ 8ක මානව සම්පතක අවශ්‍යතාවක් පවතින බව අනාවරණය විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දැනට හෝටල් පාසල් මගින් ක්‍රියාත්මක පුහුණු පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමේ සැලසුම් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
මෙම සාකච්ඡාවේදී විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය ඉදිරි අයවැයට ඇතුළත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී. සංචාරක සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන කෙලින්ම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කිරීමටත්, සීගිරිය, ගලේවල සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති පොදු සැලැස්මක් යටතේ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමටත් තීරණය විය. ව්‍යාපෘතිවල ප්‍රමාදයන් අවම කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ සිටම ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට හැකි පරිදි නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටත්, සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ඉඩම් සහ සම්පත් පිළිබඳ විධිමත් වාර්තාවක් සැකසීමේ කටයුතු කඩිනම් කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
















