මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව සෘජුව වගකිව යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. මෙම මුදල් බැර කිරීමේදී අදාළ ගිණුම සම්බන්ධයෙන් HSBC බැංකුව දෙවතාවක්ම සැක පළ කර අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය. 2026 ජනවාරි මස සිට මෙම වගකීම මුදල් අමාත්‍යාංශයට පවරා තිබුණද, අදාළ වංචනික ගනුදෙනුව ආරම්භ වී ඇත්තේ මහ බැංකුව යටතේ පාලනය වූ 2025 දෙසැම්බර් කාලසීමාවේදී බවත්, එබැවින් මහ බැංකු අධිපතිවරයා මේ පිළිබඳව වහාම කරුණු පැහැදිලි කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. මෙම වංචාව සම්බන්ධයෙන් විධිමත් ජාත්‍යන්තර සයිබර් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඒ මහතා රජයෙන් ඉල්ලා සිටියි.














