යුද කටයුතුවලදී කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පාලනය කිරීම සඳහා නීත්‍යනුකූලව බැඳී පවතින ජාත්‍යන්තර සම්මුතියක් සකස් කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී යළිත් අවධාරණය කර ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති යුද ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධිය භාවිතය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පිළිබඳ අවිධිමත් සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති සුමිත් දසනායක මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.
මාරාන්තික ස්වයංක්‍රිය අවි පද්ධති (LAWS) මගින් ඇතිවන අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර සම්මුතියක් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් තානාපතිවරයා, සාකච්ඡා ස්වයංක්‍රිය අවි පද්ධතිවලට පමණක් සීමා නොකළ යුතු බව අවධාරණය කළේය. ඒ අනුව AI තීරණ ගැනීමේ ආධාරක පද්ධති (AI-DSS), AI සයිබර් හැකියාවන් සහ න්‍යෂ්ටික අවි සඳහා AI ඒකාබද්ධ කිරීම වැනි නැඟී එන තාක්ෂණයන් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.
යුද කටයුතුවලදී කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම නිසා මානුෂීය වගකීම සහ වගවීම පිළිබඳ ගැටලු මෙන්ම වැරදි ලෙස ගණනය කිරීම් සිදුවීමේ අවදානම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) උල්ලංඝනය වීම වැනි බරපතළ ගැටලු මතුවිය හැකි බව ශ්‍රී ලංකාව පෙන්වා දෙයි.
කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ සෑම අදියරකදීම මානුෂීය කේන්ද්‍රීයත්වය (Human Centrality) ආරක්ෂා විය යුතු බවත්, ජීවිතය සහ මරණය පිළිබඳ තීරණ යන්ත්‍ර හෝ ඇල්ගොරිදම වෙත පැවරීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස විරුද්ධ වන බවත් තානාපති දසනායක මහතා ප්‍රකාශ කළේය. නෙදර්ලන්තය සහ දකුණු කොරියාව විසින් ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80/58 යෝජනාවට ශ්‍රී ලංකාව සිය පූර්ණ සහයෝගය සහ පක්ෂව ඡන්දය ලබා දීම සිදු කර තිබේ.
















