ඉරිදා දිනවලදී දහම් පාසල් පැවැත්වීමට පහසුවක් වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමේ ප්‍රගතිය පිළිබඳව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි. දහම් පාසල් අධ්‍යාපනය දරුවන් අතර වඩාත් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම අරමුණු කරගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
මෙම නියෝග සැකසීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සමඟ මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය පවසයි. දහම් පාසල් පැවැත්වෙන ඉරිදා පෙරවරුවේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම නිසා දරුවන්ට දහම් අධ්‍යාපනය සඳහා සහභාගි වීමට ඇති බාධා මඟහරවා ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
















