ශ්රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳාම, සංචාරක කර්මාන්තය, සමුද්රීය ආරක්ෂාව සහ අධ්යාපනය යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අග්රාමාත්ය හරිනි අමරසූරිය සහ ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් සාකච්ඡා කර තිබේ.
අග්රාමාත්ය මාධ්ය අංශය සඳහන් කළේ, අග්රාමාත්යවරිය සහ ඇමෙරිකානු තානාපතිවරයා ඇතුළු දූත පිරිස අතර මෙම හමුව ඔක්තෝබර් 27 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවති බවයි.
දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීම, සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව වර්ධනය කිරීම සහ ඇමෙරිකානු සංචාරකයන් සඳහා ශ්රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත.
එමෙන්ම, දෙරටටම බලපාන සමුද්රීය අභියෝගවලට මුහුණදීම සඳහා ඒකාබද්ධ ක්රියාමාර්ග ඇතුළුව සමුද්රීය ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
අධ්යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්රාමාත්යවරිය, දෙරට අතර අධ්යාපනික හා ශාස්ත්රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ෆුල්බ්රයිට් ශිෂ්යත්ව වැඩසටහන දීර්ඝ කාලයක් පුරා ලබාදුන් දායකත්වය අගය කර ඇති අතර, එම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.
මේ අතර, ඇමෙරිකානු තානාපතිවරයා එරට පීස් කෝප්ස් (Peace Corps) ඉංග්රීසි භාෂා පුහුණු වැඩසටහන සහ ශ්රී ලංකාවේ ඉංග්රීසි භාෂා අධ්යාපනය වැඩිදියුණු කිරීම සඳහා එම වැඩසටහනෙන් ලබාගත හැකි දායකත්වය පිළිබඳව අග්රාමාත්යවරිය දැනුවත් කර තිබේ.
අන්යෝන්ය වශයෙන් වැදගත් ක්ෂේත්රවල අඛණ්ඩ සංවාදය සහ සහයෝගීතාව ඔස්සේ ශ්රී ලංකාව හා ඇමෙරිකාව අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම කැපවී සිටින බව මෙහිදී යළි තහවුරු කර ඇත.
මෙම හමුවට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්ය ප්රධානී ඩේවිඩ් මයර්ස්, අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.
















