ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) අනතුරු අඟවා ඇත්තේ, භාවිත කළ වාහන සඳහා රේගු වටිනාකම තීරණය කිරීමේදී මෙතෙක් ලබාදුන් 15%ක වටිනාකම් අඩු කිරීමේ සහනය (Valuation Reduction) ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන්, ඉදිරියේදී මෙරටට ආනයනය කරනු ලබන භාවිත කළ වාහනවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවයි.
මෙම සහනය ඉවත් කිරීමත් සමඟ වාහන සඳහා අය කෙරෙන රේගු බදු ප්‍රමාණය ඉහළ යන අතර, එහි බර පාරිභෝගිකයා වෙත පැවරෙනු ඇත. මෙම තත්ත්වය හමුවේ අලුතින් ආනයනය කෙරෙන භාවිත කළ වාහනවල මිල ගණන් පමණක් නොව, දැනට වෙළෙඳපොළේ පවතින භාවිතා කළ වාහනවල මිල ගණන් ද ඉහළ යාමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව වාහන ආනයනකරුවන් පෙන්වා දෙයි.
වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට මෙම තීරණය විශාල බලපෑමක් එල්ල කරන අතර, මධ්‍යම පන්තික පාරිභෝගිකයාට වාහනයක් මිලදී ගැනීමේ සිහිනය තවදුරටත් දුරස් විය හැකි බවට වෙළෙඳපොළ නිරීක්ෂකයින් මත පළ කරයි.














