වත්මන් රජය බදු පද්ධතිය සරල කිරීමේ සහ විධිමත් කිරීමේ අරමුණින් වැට් (VAT) බද්ද සහ සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) ඒකාබද්ධ කර එකම පදනමක් යටතේ ගණනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය. මෙය කිසිදු ආකාරයක නව බදු පැනවීමක් හෝ බදු වැඩි කිරීමක් නොව, ව්‍යාපාරිකයන්ට බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී පවතින සංකීර්ණතා අවම කර සහනයක් සැලසීමේ පියවරක් බව ඔහු අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජයන්ත මහතා සඳහන් කළේ, 2022 වසරේදී ඇති වූ ආර්ථික අර්බුදයෙන් රට මුදාගෙන රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කරගැනීම රජයේ ප්‍රමුඛතම අරමුණ බවයි. ආර්ථික අර්බුදකාරී පසුබිමක වුවද, රටේ ආර්ථිකය නැවතත් අනතුරේ හෙළීමට ඉඩ නොතබා ක්‍රමානුකූලව මෙම ජයග්‍රහණ ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.
විදේශීය ඩිජිටල් වේදිකා (Digital Platforms) හරහා සේවා සපයන ආයතන බදු ජාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මතුවූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, එමගින් දේශීය සහ විදේශීය සැපයුම්කරුවන් අතර සාධාරණ සහ සමබිමක් නිර්මාණය වන බවයි. මෙය කිසිදු කොමිස් මුදලකට අය කරන බද්දක් නොව, සම්පූර්ණ ඉන්වොයිස් වටිනාකම මත පදනම්ව ගණනය කරන විධිමත් ක්‍රමවේදයක් බවත්, මේ සඳහා 2002 අංක 14 දරන වැට් බදු පනතේ නෛතික ප්‍රතිපාදන පවතින බවත් ඔහු පැහැදිලි කළේය.
මීට අමතරව, මූල්‍ය සේවා මත බදු ගණනය කිරීමේදී පවතින සංකීර්ණතා ඉවත් කරමින්, ආයතනවල ශුද්ධ ලාභය පදනම් කරගෙන සරල ක්‍රමවේදයකට අනුව බදු අය කිරීමට කටයුතු යොදා ඇති බවත් ප්‍රකාශ විය. අනාගතයේදී රටේ රාජ්‍ය ආදායම කළමනාකරණය කරගනිමින්, ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට සහන සැලසෙන පරිදි බදු ප්‍රතිපත්ති තවදුරටත් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවත් අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















