සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5කින් ඉහළ දැමීම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ වෙළඳපොළේ ජනප්‍රිය වාහන මාදිලි කිහිපයක මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යන බවයි. ඒ අනුව හොන්ඩා වෙසල් රථයක් රුපියල් 300,000 කින් පමණ ද, ටොයොටා රේස් රථයක් රුපියල් 250,000 කින් පමණ ද, සුසුකි වැගන් ආර් රථයක් රුපියල් 150,000 කින් පමණ ද ඉහළ යා හැකි බව ඔහු සඳහන් කළේය.
ජීවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක සිදුවන මෙම මිල ඉහළ යාම පාරිභෝගිකයන්ට දැඩි පීඩනයක් වන අතර, එමඟින් වාහන වෙළඳපොළේ පවතින ඉල්ලුම තවදුරටත් පහත වැටීමේ අවදානමක් පවතින බව ද ආනයනකරුවෝ වැඩිදුරටත් අවධාරණය කරති.














